Sinhala/Tamil new year (Aluth Avurudu) is a main cultural event in Sri Lanka. Inorder to spend a ‘Natureful new year’, I stepped out to enjoy birds in our garden along with my daughter on morning of 14th of April. We observed many birds along with a Kingfisher nest. After a long pause, I restarted my regular column ‘Biodiversity of Home gardens’ with this article published on 01.05.2019 on Vidusara Science Weekly.
පසුගිය සතියේ සැමරූ අප්‍රේල් අලුත් අවුරුද්ද අපේ ඉහළම සංස්කෘතික උත්සවයයි. අලුත් අවුරුදු උදාව, ආහාර පීසිම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම ආදී දේ නියමිත වෙලාවකට නැතහොත් නැකතකට සිදු කිරීම අලුත් අවුරුද්දේ දී පිළිපදින සම්ප්‍රදායික චාරිත්‍ර වන අතර, ‘නොනගතය’ නැතහොත් සුබ නැකැත් නොමැති කාලයේ දී ආහාර ගැනීම ඇතුළු සියලු වැඩවලින් ඉවත් වී සිටිය යුතු බව දැක්වේ.

අප ගෙවත්ත අසල කැදැල්ල සොයා ගැනීමට සතියකට පමණ පෙර කදාන ප්‍රදේශයේ නිරීක්ෂණය කළ පිලිහුඩු පැටවෙකුගේ දොරට වැඩුම (c) Luigi Fernando
මේවර මෙම ‘නොනගතය’ යෙදී තිබුනේ උදෑසන වරුවේ නිසා වෙනත් විශේෂ වැඩක් කරන්නට එපා යැයි කියවෙන නොනගතය පරිසරයත් සමග ගතකරන්න ට සිතා ගත මම දියණියත් සමග ගෙවත්තට පිළිපන්නෙමු.
අවුරුද්ද ලැබීම සනිටුහන් කරමින් පත්තු කල රතිඤ්ඤ හඩින් බියපත් වී දෝ, වෙනදා ගෙවත්තේ උදෑසන සුලබව දක්නට ලැබෙන කුරුල්ලන් දක්නට නොලැබිණි. අලුත් අවුරුද්දේ පණිවිඩ කාරයා ලෙස සැලකෙන කොහා ගේ ගීතය ද වෙනදා උදයේ ඇසෙන මුත්, මේ අවුරුදු දා අප ගෙවත්ත අවට සිටි කොහා ලා ගේ ද ශබ්දයක් නොමැති විය.
එක වනම අහසින් සුදු පුළුන් ගුලි දෙකක් පාත් වෙනවා මෙන්, අප ගෙවත්ත අසල තිබු උස පොල් ගසට පියඹා විත් වැසුවේ සුදු මහ-කොකුන් (Great Egret) ජෝඩුවකි. මින් පෙර කිසිදාක සුදු මහා-කොකා අප ගෙවත්ත අසලින් වාර්තා වී නොතිබුණු නිසා, මෙය විශේෂ නිරීක්ෂණයක් විය. සමහර විට අසල තෙත් බිමක සිටි මෙම සුදු මහා-කොකුන් රතිඤ්ඤ හඩින් බියපත් වී අප ගෙවත්ත අසලට ආවා වන්නට පුළුවන.
අප ගෙවත්තේ දිය බදුනෙන් දිනපතා නෑමට පුරුදු වී සිටින කොන්ඩ කුරුල්ලන් (Red-vented Bulbul) ජෝඩුව මද වෙලාවකින් අප ගෙවත්තට පැමිණි අතර, තම ප්‍රියතම වේදිකාව වූ කණුව උඩින් ලැගගත් අළු කොබෙය්යා (Spotted Dove) තම උදෑසන ගීය ගායනා කරන්නට පටන් ගත්තේ වෙනදාට වඩා පමාවිලා ය. දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත නිතඹ-රත් වැහිලිහිණින් (Red-rumped Swallow) රංචුව ක් එකිනෙකා පරයා රවුමට පියාඹන්නට වුයේ උදෑසන ව්‍යායාමයට මෙනි.
අවුරුදු දා මහා රන්ඩුවකට පැටලුණු හොට පටලවා ගත පොලොස් කොට්ටෝරුවන් (Brown-headed Barbet) දෙදෙනෙකු දෙපසට වුයේ, ගෙවත්තේ කාමරන්කා ගසේ පහලට රූටා විත් බිමට වැටෙන්නට ඔන්න මෙන්න තියා ය. දෙන්නා දෙපස ට වුවත් යළිත් කොයි මොහොතක හෝ රණ්ඩුව පටන් ගැනීමට මෙන් හොටය විවෘත කරගෙන එකිනෙකාට තර්ජනය කරන ලිලවෙනි.
අප මේ සියල්ල නිසොල්මනේ බලා හිදිද්දී මහා හඩින් කෑ ගසමින් විත් අප ඉහලින් ම තිබු කම්බියේ ලැග ගත්තේ ළය-සුදු පිළිහුඩුවෙකි (White-throated Kingfisher). අප ගැන කිසි තැකීමක් නොකළ පිළිහුඩුවා හිස අමුතු ඇළයකට කරකවමින් නිරීක්ෂණය කළේ ගොදුරක් බව දැන සිටියත්, කුරුල්ලාගේ ඉලක්කය අප මිදුලේ තිබූ තරමක් විශාල මානෙල් මල් වග කල සිමෙන්ති බේසමේ දමා සිටි ගප්පි මාළුවෙකු බව තේරුම් යනවිට පමා වැඩිවිය. එක්ෂණයකින් පහලට පියඹා ආ පිලිහුදුවාට මාළුවා ඩැහැ ගැනීමට ගත වුයේ තත්පරයකටත් අඩු කාලයකි. මාළුවා අඩ පණ කිරීමට කම්බියේ දෙපැත්තේ කිහිප වරක් ගැසූ පිළිහුඩුවා එක් වරම නැවතත් ගෙදර පාර දෙසින් බිමට බැස්සේ මාලුවාද හොටයේ සිර කරගෙනමය.
පිළිහුඩුවා වැසූ තැන සෙවීමට පාරට ගොස් ඒ අසලින් ගලා යන තරමක් විශාල කාණුව ද හොදින් නිරීක්ෂණය කළත් පිළිහුඩුවා ගේ වගක් වත් සොයා ගැනීමට නොහැකි විය. විනාඩි කීපයකින් අප දෙදෙනා ම තාප්පයේ වූ තරමක් විශාල බටයකින් පිළිහුඩුවා මතු වුයේ අප දෙදෙනාම පුදුමයට පත් කරමිනි. අප දෙදෙනා අතාරින විදුලි වේගයෙන් පියඹා ගිය පිළිහුඩුවා අසල කම්බියේ වසා මහා හඩින් නද කරන්නට වුයේ අපගේ පැමිණීම කරදරයක් වූ බව දන්වමිනි.
පිළිහුඩුවා ට ඉඩ දෙමින් අප මදක් පසුපසට විත් බලා හිදිද්දී, තවත් සතෙකු අල්ලාගත් කුරුල්ලා නැවතත් පයිප්පය ඇතුලට ගියේ එතැන පිලිහුදුවාගේ කැදැල්ල ඇති බව නිරාවරණය කරමිනි.
පිළිහුඩුවන් සාමාන්‍යයෙන් ළිං ඉවුරක හෝ ජලය ආශි‍්‍රතව ඉවුරක උමගක් සාදා එහි කෙළවර කැදැල්ල ලෙස යොදා ගනී. හරාගැනීමට සුදුසු පසක් සහිත ස්වාභාවික ඉවුරක් නොතිබූ අප ගෙවත්ත අසල ජිවත් වූ මේ පිලිහුඩු යුවල ඒ වෙනුවට යොදා ගත් විකල්පය නිර්මාණාත්මකයි නේද..? විශේෂයෙන්ම මේ පයිප්පය පිහිටියේ තරමක් උසින් නිසා, විලොපිකයෙකුටවත් ඒ වෙත ලගා වීම අපහසුය.
අප මේ පිළිහුදු කැදැල්ල නිරීක්ෂණය කළේ අවුරුද්දේ නොනගතය වේලාවේදීය. නොනගතයේ දී ආහාර අනුභවයෙන් ද වැළකී සිටිය යුතු නමුත්, මේ පිලිහුඩු දෙමාපියන්ට නම් අවුරුද්දේ වගක් වත් නොතිබුනේ, අවුරුදු චාරිත්‍ර වලට වඩා තම පැටවුන් බඩගින්නේ නොතිබීමේ අභිලාශය නිසාවෙන් මෙනි.
වෙනත් කොහෙන් දෝ අල්ලාගත් තවත් කුඩා මාළුන් කීප දෙනෙකු, ගැඩිවිල්ලන්, කටුසු පැටවෙකු, හුනකු මෙන්ම කුඩා තලගොයි පැටවෙකු ද අල්ලා ගෙන කැදැල්ල වෙත මේ පිළිහුඩු දෙමාපියෝ එන අයුරු, ‘නොණගත කුරුළු නැරඹුමේ’ දී නිරීක්ෂණය කලෙමු.
මේ ලිපිය ලියන අප්‍රේල් 22 වනදා වන විට, මෙම පයිප්ප කැදැල්ල අසලට ගිය විට ඇතුලින් පිලිහුඩු පැටවුන් ගේ හඩ ඇසෙන අතර, තවත් නොබෝ දිනකින් ම මේ පැටවුන්ගේ ‘දොරට වැඩුම’ සිදුවනු ඇතැයි අප සැවොම බලාපොරොත්තුවෙන් පසුවන්නෙමු.
(Here is the eBird log for birding on Avurudu day 14.04.2019 https://ebird.org/view/checklist/S54932173)