I first observed that a Tailor Bird sleeps on an ornamental plant hanging from upstairs. The bird continues to sleep on this place upto today (i.e.29th June). Tailor bird puffs its feathers and tuck its head under its wing to make its profile hide from potential predator. The bird is undisturbed even anybody goes very close to it. This is published under ‘Biodiversity of Home Garden’ column on Vidusara Science Weekly on 29.05.2019.
රටෙහි මොන වාතාවරණය තිබුනත්, අපේ ගේ සහ ගෙවත්ත සුපුරුදු පරිදි වෙසක් සැරසිලි වලින් සරසන්නට ලැහැස්ති වුයේ වෙසක් දිනයට සති කිහිපයක සිටමය. වෙසක් පහන් කූඩු කිහිපයක් තනා නිම කර, කොඩි වැලක් තනා, පැරණි විදුලි බුබුළු වැලේ දුහුවිලි පිසදා, වෙසක් දිනයට පෙරදා රාත්‍රියේ ගේ ඉදිරිපස නිරීක්ෂණය කිරීමට එළියට ආවේ මේ සැරසිලි එල්ලන ආකාරයේ දළ සැලැස්මක් ගසා ගැනීමටය.
මෙසේ නිරීක්ෂණය කරන අතරතුර ඉහළ තට්ටුවේ බැල්කනියෙන් පහළට වැටෙන සේ වවා තිබු විසිතුරු මල් වැලේ යම් අමුත්තක් එක් වරම ඇස ගැටුනත් ඒ කිමෙක්දැයි එක් වරම සිතා ගැනීමට නොහැකි විය. කහ පැහැති මල් පිපුණු, පහතට වැටි තිබුණු මේ මල් වැල වෙත වඩාත් ලංවී එය නිරීක්ෂණය කරද්දී, සුදු පැහැයට හුරු බෝලයක් වැනි දෙයක් නිරීක්ෂණය විය. බෝලයේ එක පසෙකින් කුඩා කුරකි. කිසිදු හැල හොල්මනක් නොමැති මේ කුඩා බෝලය කුරුල්ලෙකු වන්නට ඇතැයි මට අනුමාන කිරීමට හැකිවුයේ වසර ගණනාවක් කුරුල්ලන් අධ්‍යනය කර තිබීමේ පළපුරුද්ද නිසාම පමණෙකි.
තවත් ළඟාවී නිරීක්ෂණය කළත්, කුරුල්ලාගේ ඔලුව සොයා ගැනීමට නොහැකි වුයේ එය හොදින් තටු අතර සඟවා ගෙන සිටි නිසාවෙනි. පිහාටු හොදින් පුම්බා ගෙන සිටි නිසා කුරුල්ලෙකුගේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා රවුම් ස්වාභාවයක් ගත් අතර වලිගය පමණක් ශරීරයෙන් ඉවතට කෙළින් විහිදී තිබිණේ කුරුල්ලකු යයි කිසිවෙකුටත් සිතාගත නොහැකි අයුරකිනි.
සුදු පැහැ ශරීරයේ මිශ්‍රවී තිබු කොළ පැහැයත්, ප්‍රමාණයත් උපයෝගී කර ගෙන මේ සිටින්නේ නිදා සිටින බට්ටිච්චේකු (Tailor Bird) බව නිවැරදිව හදුනා ගැනීමට මට තවත් මද වෙලාවක් ගත විය.
ගෙයි ඉදිරිපස ආලින්දයේ ප්‍රධාන විදුලි බුබුල අසලම නිදා සිටි බට්ටිච්චා, පහතින් සිදු කරන අපගේ ක්‍රියාකාරකම් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමට තරම් දක්ෂ විය. වහා කැමරාව ගෙන්වා ගත මා මේ නිදා සිටින බට්ටිච්චාගේ ජායාරූ කිහිපයක් ම ගත්තේ විවිධ කොනයන්ගෙනි. කෙසේ වෙතත් කැමරාවේ විදුලි ආලෝකය නිසා කලබල වනු අත්දෝයි සැකය නිසා flasher නොදල්වා මෙම ජායාරුප ගත නමුත්, කුරුල්ලා නම් කලබලයක් නොපෙන්විය.
පසුදා – මැයි 18 වෙසක් දා උදෑසන 7ට පමණ නිරීක්ෂණයේදී බට්ටිච්චා ඒ වනවිටත් නිදි ගැට කඩා, තම යහනෙන් නික්ම ගොස් තිබිණි. සමහර කවි, ගීත වල ‘මල් යහනක’ සතපන බව කාව්‍යමය අර්ථයෙන් පැවසෙතෙත් මේ බට්ටිච්චා නම් සැබවින්ම සිටියේ ‘මල් යහනක’ බව පෙනුනේ කුරුල්ලා සිටි කහ පැහැ මලින් බර මල් වැල උදෑසන දී දුටු විටදීය. තවත් වෙසක් සැරසිලි කිහිපයක් ම සැකසීමට දහවල කල් ගත වුනු අතර, ඒවා එල්ලිමටත්, විදුලි බුබුළු වැල් වලින් ගෙවත්ත ආලෝකමත් කිරීමටත් පහතට බැස්සේ රාත්‍රී 6.45 පමණ දීය. මේ වනවිටත් බට්ටිච්චා තම පුරුදු නවාතැනට පැමිණ සිටි අතර, වෙසක් සැරසිලි කිරීමේදී කලබල වී ඉගිල යාවී දොයි සැක සිතුනත් කුරුල්ලා ඒ පිළිබද එතරම් තැකීමක් නොකර නිසොල්මනේ බලා හිදිම මගේ සැනසුමට කාරණයක් විය. ඉහළ තට්ටුවේ සිට ගෙවත්ත දක්වා ඇදුනු විදුලි බුබුළු වැල ක්‍රියාත්මක කල විට, නොයෙක වර්ණයෙන් නිවී නිවී වැටෙන ඒ විදුලි බුබුළු දෙස මේ බට්ටිච්චා මද වෙලාවක් බලා සිටියේ වෙසක් සිරිය නරඹනවා මෙනි.
රාත්‍රියේදී මොර සූරන වැස්සක් වැටුනේ තද සුළඟකුත් සමගය. කුරුල්ලා සිටි මල් වැල තදින් නොතෙමුන ද සුළඟ සමග එන වැහි පොද ඒ මත පතිත වූ අතර සුළඟට බට්ටිච්චා සිටි මල් වැල තදින් පැද්දීමට ලක්වුවද කුරුල්ලා එතනින් ඉවත් වුයේ නැත.
වෙසක් දිනට පසු දිනත් මේ බට්ටිච්චා එනු ඇත්දැයි මා සවස 6.15 පමණ සිට සෙවිල්ලෙන් සිටි අතර, කුරුල්ලා 6.30ට පමණ පැමිණ සිටිනු නිරීක්ෂණය කලෙමි. ටික වෙලාවක් නිසොල්මනේ හිඳ, ඉන්පසු ඔලුව උරපතේ හංගා ගෙන නිසොල්මන්ව නිදා ගන්නට ගියේ 6.40 ට පමණ වේ. මැයි 17 සිට මෙම ලිපිය ලියන මැයි 26 වැනි ඉරිදා ද ද බට්ටිච්චා එකම තැන ලැගුම් ගනු නිරීක්ෂණය කෙරිණි.
මේ බට්ටිච්චා නිදා සිටි මල් වැල තිබුනේ අපි හැවොම නිතර ම එහා මෙහා යන විවෘත ස්ථානයකය. ඉස්තෝප්පු වේ තිබුණු ප්‍රධාන විදුලි බුබුල ට අඩියක තරම් ආසන්නයෙන් තිබූ වැලම තෝරාගෙන තිබු අතර, සැර ආලෝකයක් ඇති මේ විදුලි බුබුල නිවන / දල්වන විටදී ද බට්ටිච්චා කිසිදු කලබලයක් නොපෙන්විය (මේ හේතුව නිසාම පසුව මේ බට්ටිච්චාගේ ජයාරූප කිහිපයක් කැමරාවේ Flasher .ආලෝකය භාවිතයෙන් පසුව දුරින් සිට ගන්නා ලද්දේ කුරුල්ලා සිටි ඉරියව් හොඳින් සටහන් කර ගැනීමටය.)
ඉතින් මෙවැනි අනාරක්ෂිත යැයි බැලු බැල්මට පෙනෙන මෙවැනි තැනක් රාත්‍රී නවාතැන ලෙස තෝරා ගැනීමට නුවණට හුරු නොවේයැයි ඔබට සිතෙනු ඇත. මේ කුරුල්ලන් ට සිටින ප්‍රධාන විලොපිකයකු වනුයේ බළලා වැනි සතුන්ය. උඩ සිට එල්ලෙන සිහින් මල් වැලක් නිසා, බළලුන් ගෙන් මේ තැන ආරක්ෂිතවේ. උකුස්සා වැනි ගොදුරු කුරුල්ලන් රාත්‍රියේදී නැති අතර, මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන කුඩා බස්සන් වර්ග වලින් කුරුල්ලන් ට තර්ජනයක් නැත. ඊටත් වඩා, නිසොල්මන් ව හිස තටු අතර සගවා ගෙන සිටින ඉරියව්ව නිසා කොහොමටත් මේ ඉන්නේ කුරුල්ලකු බව සොයා ගැනීමට අපහසුය. අනිත් පැත්තෙන් බැලුවහොත්, මෙම මල් වැලට අවට පරිසරයම හොදින් දිස්වෙන නිසා අවශ්‍ය වුවහොත් අවට නිරීක්ෂණයට කුරුල්ලාට අවස්ථාව ලබා දෙයි.
නිදා සිටින බට්ටිච්චන් පිළිබද අන්තර්ජාලයේ කළ සේවිමකදී මා දුටුවේ සිංගප්පුරුව, ඉන්දියාව වැනි බට්ටිච්චන් සිටින රටවල කුරුළු ලෝලීන් ද ඉඳ හිට මෙවැනි සමාන අත්දැකීම් විද ඇති බවයි.
මේ මා විසින් නිදා ගෙන සිටිනා බට්ටිච්චකු ගෙවත්තේදී දුටු දෙවැනි අවස්ථාව වේ. පළවෙනි අවස්ථාව මිට වසර ගනනාවකට පෙර අත්දැකීමක් වන අතර ඒ හබරල පලයක පත්‍රයක නිදා සිටි ඒ බට්ටිච්චා දුටුවේ මා මොකක් දෝ හේතුවකට ඒ හබරල පැලය ඇල්ලීමට යාමේ දිය. මිට අමතරව රාත්‍රියේ නවාතැන් ගත් සුදු රෙදි හොරා (අසියා සුදු රැහැන් මාරා), දෙමලිච්චන් සහ පොල්කිච්චන් ගෙවත්තේ දී නිරීක්ෂණය වී තිබේ.
ඉතින් බලන්න ඔබට මෙවන් අත්දැකීමක් කුරුල්ලන් බැලීමට වෙනත් පරිසර පද්දධතියකට චාරිකාවක දී ලබා ගත හැකි වෙතැයි ඔබ සිතනවා ද..? සිංහරාජය වැනි වනාන්තරයක දී ඔබට දුර්ලභ කුරුල්ලන් දැක ගත හැකි වනු ඇත. බුන්දල වැනි තෙත් බිමකදී දහස් ගණන් කුරුල්ලන් බලා ගත හැකි වනු ඇත. එහෙත් ගෙවත්තත් ඒ හා සමානම සිත්ගන්නා සුළු, අපුර්ව මෙවැනි සිදුවීම් වලින් බහුලය. ඔබත් මබ අවට ගෙවත්තේ ජෛව විවිධත්වය නිරීක්ෂණයට පුරුදු වන්න. විශේෂිත සිදුවීමක් නම් අප වෙත ලියා එවන්න.
වෙසක් දා සිට කළ කළ අහඹු නිරීක්ෂණයන් ගෙන් තහවුරු වුයේ සවස 6.40 ට මේ බට්ටිච්චා සාමාන්‍යයෙන් නිදන්නට යන බවය. මෙසේ රාත්‍රිය ගත කොට මේ බට්ටිච්චා උදෑසන නික්ම යන වෙලාව සොයා ගැනීමට ද ඇති වු කුකුස නිසා මැයි 26 ඉරිදා උදයේ 5 සිට නිරීක්ෂණය කළෙමි. එහිදී නිරීක්ෂණය අනුව බට්ටිච්චා තම නවතනෙන් ඉගිලී ගියේ හරියටම අලුයම 5.40 ටය. අවදි වූ වහාම ඉදිරියේ වූ ගස් ගොන්න වෙත පියඹා ගියේය.
මයි 26 දා සවස නැවතත් මෙම බට්ට්ටිච්ච නිරීක්ෂණයට සවස 6.20 වනවිට යද්දී, කුරුල්ලා ඒ වනවිටත් තම රාත්‍රී නවාතැන වෙත් ඇවිත් සිටියේය. තම පිහාටු පිරිමදිමින් වට පිට බලමින් 6.30 පමණ තෙක් කල් වැරූ බට්ටිච්චා ගේ ජායාරූප නිරීක්ෂණයේදී පෙනී ගියේ පිරිමදීමෙන් සෙමින් සෙමින් ශරීරයේ ම පිහාටු පුම්බා ගනිමින් සිටින අයුරුයි. කෙසේ වෙතත් බට්ටිච්චා තම හිස සඟවා ගෙන පුර්ණ නින්දකට වැටුනේ 6.40 ට ආසන්නයේ දීම ය.
කුරුල්ලෝ නිදා ගන්නවා ද..?
කුරුල්ලන් ද අනිත් බොහෝ සතුන් මෙන් නිදා ගන්නා නමුත්, එය අපි නිදා ගන්නවා ට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. විලෝපිකයන් ගෙන් ආරක්ෂා වීම පිණිස සැමවිටම විමසිලිමත් වීම වැදගත්වේ. එනිසා කුරුල්ලන් ට කෙටි නින්ද ඇති බව ත් එසේම සමහර කුරුල්ලන් ගේ මොලයේ එක් පසක් අවධියෙන් තබා අනිත් පස නින්දට යැවිමේ අපුරු හැකියාවක් තිබෙන බව ත් සදහන් වේ (ඉක්මනින් ඇහැරී ක්‍රියාකාරී වියහැකි ලෙස නිදා ගන්නා විට ‘කුකුළ් නීන්ද’ ලෙස හැදින්වීම නිසි ලෙසම ගැලපෙන යෙදුමක් වන්නේ එහෙයිනි). මෙය unihemispheric slow-wave sleep (USWS) ලෙස හැදින වෙන අතර සමහර නිහැරී කුරුල්ලෝ දිගු සංචරණයකදී ගුවනේ පියා හඹා යද්දී ම මෙසේ කිරීමේ හැකියාව තිබේ යැයි සොයා ගෙන ඇත.
නින්දේදී කුරුල්ලන්ගේ ග්‍රහණය ගිලිහි බිමට නොවටෙදැයි තවත් ප්‍රශ්ණයකි. ශරීරයේ බරත් සමග කකුලේ පේශීන් හොදින් හිර කර ගැනීමේ හැකියාව කුරුල්ලන්ට ඇති නිසා නින්දේදී නොවැටී සිටීමට ඔවුන්ට පිළිවන. එසේම ගිරවුන් වැනි සමහර කුරුල්ලන් යටි අතට නිදා ගන්නා අතර, ඔවුන් තම නිය වලින් නොවෙටෙන සේ යමක එල්ලී සිටි.