Quantcast
Channel: Window to Nature
Viewing all articles
Browse latest Browse all 443

වැසි දිනකදී ඔබේ ගෙවත්ත

$
0
0

This is an article published in Vidusara Science Weekly on 06.10.2021. The article focuses on some of the changes that can be expected to observe in your home gardens. 

කාලගුණ යේ වෙනසක් නිසා පසු ගිය සති කිහිපයේ ලංකාවේ බොහෝ පළාත් වලට තද වැසි වැටුනේය. වැස්සේ සිතලයට ගුලි වී නිදන්නට ඇත්නම් අපි බොහෝ දෙනා කැමති වුවත්, වැස්ස වසින විට හා ඉන් පසුව පරිසරයේ සහ ගෙවත්ත ආශ්‍රිත ජිවින්ගේ සමහර සුවිශේෂී චර්යා නිරීක්ෂණය කිරීමට අපට හැකිවේ.

දිගු වියළි කාලයකට පසු වැටෙන පළමු වැස්ස ගෙන එන්නේ එයටම ආවේණික, ඇවිස්සුනු දුහුවිලි සමග මුසුවූ සුවදකි. එසේ දිගු වියළි කාලකට පසු වැටෙන වැස්සකට පසු පරිසරයේ ඇත්තේ අමුතුම ප්‍රබෝධයකි. එවන් වැස්සකට පසු උදෑසන, කුරුල්ලන් නැරඹීමට සුදුසුම දිනයකි.

වැස්සේ ජලස්නානය කරන කුරුල්ලෝ   

තදින් වැසි වැටෙන  දී  ඔබගේ ගෙවත්තේ කුරුල්ලන් කුමක් කරන්නේ දැයි ඔබ නිරීක්ෂණය කර තිබේද..? අප ගෙවත්ත ආශ්‍රිත ජීවීන් සමහරෙක් වැස්ස ට ප්‍රිය කරන අතර සමහරෙක් ට වැස්ස කරදරයකි. දිගට පවතින තද වැස්ස කුරුල්ලන්ට කරදරයක් වුවත්

වැස්ස පටන් ගත් අවස්තාවලදී බොහෝ කුරුල්ලන් ඒ වැස්සේ ස්නානය කරන්නට ප්‍රිය කරයි. හොඳින් නිරීක්ෂණය කළහොත්, තම පියාපත් විහිදමින් වැස්සේ හොඳින් නා ගන්නා කොන්ඩ කුරුල්ලෙකු, පොල්කිච්චේකු ඔබේ ගෙවත්ත අවටින් ද බොහෝ විට දැකගත හැකි වනු ඇත.

මීට අමතරව සුටික්කන්, බට්ටිච්චන් වැනි කුඩා කුරුල්ලන් ගේ විශේෂ ස්නාන චර්යාවක් ද වැස්සේ දී හෝ වැස්ස නිම වූ පසු ඔබට දැක ගත හැකි වේ. මොවුන් බොහෝ විට කරනුයේ ගස් වල පත්‍ර වල රැදුණු වැහි බිඳු ඇගේ තවරා ගෙන ඒවායින් කරන ස්නානයකි. වැස්ස නැති වුවත්, උදෑසන තද පින්නක් තිබු අවස්ථාවලදී රැදෙන ජල බිදු වලින් ද ස්නානය කිරීම මොවුන් ගේ විශේෂී පුරුද්දකි.

(සවස් වරුවේ ගස් වලට වතුර දමද්දී, අප ගෙවත්තේ තිබෙන කාමරංගා ගසේ උස් අතු වලට ජල පහර කිහිපයක් එල්ල කිරීම මගේ පුරුද්දකි. සවස 5ට පමණ මේ ක්‍රියාව කරන සමහර විටෙක, මා විසින් වතුර බටයෙන් ඉහලට එල්ල කරන ජලය එසැණින් ම ස්නානයට ද අපේ ගෙවත්තේ සුටික්කෝ පුරුදු වී සිටිති.)

වැස්සෙන් මුවා වීමට වහල යටටත් එන තෙත බරිත කුරුල්ලෝ

වැසි වැටෙන්නට පටන් ගෙන සුළු වෙලාවක් ගත වෙන තෙක් සුටික්කන් වැනි කුරුල්ලන් ඒ වතුර නෑමට ඉවතට ආවත්, බොහෝ කුරුල්ලන් නොතෙමෙන  තැනක වැස්සෙන් රැකවරණය ගෙන සිටීමට කැමැත්ත දක්වයි. කුරුල්ලන් ගේ පිහාටු වල ඔවුන් ගේ ග්‍රන්තියකින් වැහෙන තෛලමය තරලයක් නිතර හෝටයෙන් ගෙන පිරිමදින නිසා, පිහාටු වලට වතුර උරා ගැනීම අඩු වුවත්, වැස්සේදී ඔවුන්ට පියාඹිම අපහසුය. කුරුල්ලන් පියඹා යන්නේ ඔවුන් ගේ තටු මගින් සිදු කරන චලනයෙන් වාතය පහළට තෙරපිමකිනි. එහෙත් වැසි වසින විට බොහෝ විට පරිසරයේ තිබෙන්නේ අඩු පීඩන තත්ත්වයක් නිසා ඔවුන්ට පියෑබිමට වැඩි ආයාසයක් ගත යුතු වේ.

ඔබගේ ගෙදර වහල යට තිබෙන ඉඩක හෝ ගසක කොළ වලින් වැසුණු එතරම් තෙමෙන්නේ නැති තැනක නිසොල්මන්ව සිටින කුරුල්ලෙකු දෙන්නෙකු තදින් වැසි වැටෙන විට දී හොදින් බැලුවොත් නිරීක්ෂණය කල හැකි වනු ඇත. එහෙත් ඔවුන් ව නිරීක්ෂණය කිරීමට යාමේදී ඔවුන් කලබල නොකිරීමට වග බලා ගන්න.

වැස්සේ ගීතමය සංධ්වනි මවන ගෙම්බෝ සහ මැඩියෝ

තදින් වැසි වැටෙන විට වඩාත් ම සතුටු වන සතුන් කොටසකි උභය ජීවින්. වෙනදාට ගල් යට, මල් පෝච්චි අස්සේ සැගවී සිටින මේ ගෙම්බෝ සහ මැඩියෝ තද වැස්සකදී එළි බහී. වතුර වලවල් සෑදෙන තරම් තද වැස්සක් පතිත වූ දාට නම් මොවුන්ට රජ මගුල්  ය. එවන් දින වල රාත්‍රිය නොයෙකුන් තනු වලට සහ තිව්‍ර තාවයෙන් යුතු හැඩින් ගීතවත් කිරීමට මේ ගෙම්බන් සහ මැඩියන් වග බලාගන්නේ මේ වතුර වල හිදී යෑමට පෙර සහකරියෙකු සොයා එහි බිත්තර දැමිය යුතු හෙයිනි. මීට දශක කිහිපයකට පෙර සෑම ප්‍රදේශයකම පාහේ මෙවන් වැසි බර රාත්රියයන් ගෙම්බන්ගේ සහ මැඩියන් ගේ හඩින් ගීතවත් වුවත්, දැන් නම් බොහෝ ප්‍රදේශවලින් ඒ ‘ගෙඹි ගීතිකා’ මතකයට පමණක් සිමා වී තිබේ.

මීට දශක කිහිපයකට පෙර නම්, තද වැස්සකදී ගෙවතු වල කොන් වල හෝ අසල ඇති පහත් ඉඩම් වල වැසි ජලය පිරී තිබීම සුලභ විය. දින කිහිපයකට පසු මේ ජලයේ පාවෙන ගෙම්බන් විසින් දැමූ බිත්තර සෙවෙල ලෙස දක්නට ලැබුන අතර, තවත් දින කිහිපයකින් ඒවායින් කුඩා ඉස්ගෙඩියන් එළියට පැමිණේ. දින කිහිපයකින් බොහෝ දිය රැදුණු වලවල් සිඳී යද්දී, මේ ඉස්ගෙඩියන් අල්ලා ගැනීමට කොකුන්, පිළිහුඩුවන් වැනි කුරුල්ලන් කුරුමානම් අල්ලන්නට පටන් ගනී. වතුර වලවල් කිහිපයක් ඉතිරි වන අතර, මේවායෙන් ගෙම්බන්ගේ ඉදිරි පරම්පරාව බිහි වේ.

වැස්සේ පියඹා එන මේරු

වේයන් කොළනියක් පරිණත වෙද්දී, එහි වේයන් ට පියාපත් එන අතර වාතයේ ආර්ද්‍රතාවයට සංවේදී වෙන මේ තටු සහිත වේයන් බොහෝ විට වැස්සකට පසු පොළොවෙන් මතුවේ. මොවුන්ට දිගු දුරක් පියඹා යෑමට නොහැකි අතර, මුල් කොළණිහි සිට මීටර 100 ක් පමණ දුරකට පමණක් පැතිරිය හැකිය. තටු ගැලවුණු පසු තව තැනක දී නව කොලණියක් බිහි කිරීමට මේ වේයන් උත්සාහ කරත්, බොහෝ දෙන විලෝපිකයන් ගේ ලෙහෙසි ආහාරයක් බවට පත්වන නිසා එම කාර්යය කිරීමට ඉතිරි වනුයේ කිහිප දෙනෙකු පමණි.

වැස්සකට පසු පිපෙන වැළි හතු

මීට දශක ගණනාවකට පෙර අපේ ගෙවතු ප්‍රමාණයෙන් විශාල විය. තද වැස්සකට පසු දින උදයේ ගෙවත්තේ පහල, දිරා යන ගස් කදන් වල සහ බිම වැස්සකට පසු කුඩා බිම් මල් රාශිකයක් ඉස්මතු වී තිබෙනු ඔබගේ අම්මලා තාත්තලාට නම් තවමත් මතක ඇති. සමහර බිම්මල් ආහාරයට නොසුදුසු වුවත්, ‘වැලි හතු’ නමින් හඳුන්වන මේ කුඩා බිම්මල් නම් එදා ඉතා රසවත් ආහාරයක් විය. මේ ආහාරයට ගත හැකි වැලි හතු මෙන් ම, වැසි කාලයේ දී වෙනදාට වඩා ඔබගේ ගෙවත්තේ ද බිම් මල් පොළොවෙන් ඉහලට විත් තිබීමට ඉඩ තිබේ. තෙත රැදෙන ස්ථාන වල විශේෂයෙන් ම මෙවැනි බිම් මල් දැක ගත හැකි වේ.

වැස්සේදී එළි බසින ගෝනුස්සෝ සහ පත්තෑයෝ

පොළොවේ ඇති ගුල් වල සැඟවී සිටින බොහෝ සතුන් වැස්සත් සමග තම වාසස්ථාන ජලයෙන් යට වන නිසා වැසි දිනවල දී අවතැන් වේ. එසේ තම සැඟවුණු ස්ථාන වලින් එළි බහින ගෝනුස්සන් සහ පත්තෑයන් ගෙන් වැසි දිනවලදී විශේෂයෙන් ප්‍රවේසම් වීමට අපට සිදු වේ.

මීලග වැස්ස දිනයේ දී සහ වැස්සකට පසු, ඔබත් ගෙවත්ත නිරීක්ෂණය කර බලන්න; සමහර විට වෙන දිනයකට වඩා විශේෂිත මෙවන් දේ ඔබට දැකගත හැකි වනු ඇත. 


Viewing all articles
Browse latest Browse all 443

Trending Articles