
කොරෝනා බිය නිසා ගුවන් තොටුපළ ට එන්නේ සිමා සහිත ගුවන් යානා කිහිපයක් පමණි. සංචාරකයන් ට විසා නිකුත් කිරීම තවමත් අරඹා නැත. විශේෂ අවසර සහිතව ලංකාවට පැමිණෙන අයත් සති කිහිපයක් ම නිරෝධායනට යටත් විය යුතු වේ. එසේ වුවත් මේ සංචාරක සිමා තඹයකටවත් ගණන් නොගන්නා කුරුළු සංචාරක නඩ නම් මේ වනවිටත් ශ්‍රී ලංකාව වෙත පැමිණීම ආරඹා තිබේ.
ලෝකයේ කුරුළු රටාසමයන් ගෙන් 20% (කුරුළු වර්ග 2000 ක් පමණ) කාලයකදී වෙනත් ප්‍රදේශවලට ගොසින්, නැවතත් ආපසු පැමිණෙන හැසිරීමක් දක්වයි. බොහෝවිට සුවදි බිම (breeding ground) සහ ආහාර සුලබ බිම් (feeding ground) අතර වාර්ෂිකව සිදුවන ගමන නිහැරිම ලෙස හදුන්වයි. සංචාරක පක්ෂීන් නැතහොත් පර්යටනය කරනා පක්ෂීන් ලෙස ද සමහරුන් විසින් හදුන්වන්නේ මෙම නිහැරී කුරුල්ලන් වේ.
ලංකාවේ දී වාර්තා වුනු කුරුළු රටාසමයන් 200 ක ට වැඩි ප්‍රමාණක් නිහැරී කුරුල්ලන් වේ. මෙය ලංකාවේ වාර්තා වී ඇති මුළු කුරුළු රටාසමයන් ගෙන් අඩකටත් වඩා වැඩි අගයකි. ඉන්දියානු උප මහාද්වීපයේ ශ්‍රී ලංකාව පිහිටි තැන අනුව එය ඉන්දියාවෙන් දකුණු දෙසට ඇති අවසන් ගොඩබිම වේ. අපගේ දිවයිනේ සිට දකුණු ධ්‍රැවය තෙක් අන් කිසිදු ගොඩබිමක් නොමැති නිසා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසින් දකුණු දෙසට එන කුරුල්ලන්ගේ ගමනේ කෙළවර වේ. වෙනත් පියාසර මඟ ඔස්සේදී ශ්‍රී ලංකාව බලා පැමිණෙන නිහාරියන් අප්‍රේල් පමණ වන තෙක්ම මෙහි රැඳී සිටි.
මෙයින් සමහරෙක් ඉතාමත් දුර්ලභ වන අතර, වරක් දෙවරක් පමණක් වාර්තා වුනු කුරුළු රටාසමයන් ද ඒ අතර වෙයි. එහෙන් ජනාකීර්ණ ප්‍රදේශවලත්, ගෙවතුවලත් ඉතා සුලබව දැකගත හැකි නිහැරියන් කීප දෙනෙකු ම සිටිති.
ඔබගේ ගෙවත්තේ හා ඒ අවට ද මෙවැනි සුලභව දැක ගත හැකි පොදු නිහැරී කුරුල්ලන් ද ඉදිරි සති කීපයේ දී පැමිණීම ට හැකි නිසා, එවැනි රටාසමයන් කීප දෙනෙකු කෙටියෙන් ජයාරූප සමග හදුන්වා දෙන්නෙමු. ඔබේ ගෙවත්තේත් මෙබදු නිහැරී කුරුල්ලකු දුටුවහොත්, මුලින් ම එම කුරුල්ලා දුටු දිනය, වෙලාව සටහන් කරගෙන අප වෙත ලියා එවන්න.
- නිල්-පෙඳ බිගුහරයා (Blue-tailed Bee-eater)
ඉතාමත් පොදු නිහැරියෙකි. කොළඹ වැනි ජනාකීර්ණ ප්‍රදේශ වලත් දැකගත හැකි වේ. ඇන්ටෙනා, විදුලි කම්බි වල නිතර දක්නට ලැබෙන නිල්-පෙඳ බිගුහරයා, සුලබ නිහැරියන් අතරින්, මුලින්ම පාහේ නෙත ගැටෙන කුරුල්ලා ය.

- අටු වැහිලිහිණියා (Barn Swallow)
කුඩා කුරුල්ලෙකු වූ අටු වැහිලිහිණියා රාත්‍රියේ දී රංචුවක් ලෙස ලැඟුම් ගැනීමට ප්‍රිය කරයි. රත්නපුරය ප්‍රදේශයේ විදුලි කම්බි වල දහස් ගණනින් රාත්‍රියේ ලැගුම් ගන්නේ මේ අටු වැහිලිහිනියන් වේ.
කැලෑ හැලපෙන්දා (Forest Wagtail)
තම පෙඳය රටාවකට වනමින් ගෙවත්තේ බිම ආහාර සොයමින් ගැවසෙන කුරුල්ලෙකි කැලෑ හැලපෙන්දා. ඉතාමත් ක්‍රියාශීලි කුරුල්ලෙකි.

ආසියා සුදු රැහන්මාරා (Asian Paradise Flycatcher)
සුදු රෙදි හොරා ලෙස ද පොදු ව්‍යවහාරයේදී හැදින්වෙන මේ කුරුල්ලා ගේ පිරිමි සතාගේ පමණක් දිගු පෙඳයක් පිහිටයි. ගැහැණු කුරුල්ලා රතු-දුඹුරු පැහැයක් ගන්නා අතර පිරිමි කුරුල්ලාගේ කුඩා කාලයේදී ද ඈත්තේ රතු-දුඹුරු වර්නයකි.
අවිච්චියා (Indian Pitta)
ඉතාමත් වර්ණවත් කුරුල්ලෙකු වූ අවිච්චියා මදක් පමාවී ලංකාව වෙත පැමිණෙන නිහැරී කුරුල්ලෙකි. බිම වැටී දිරායන කොළරොඩු අවුස්සමින් ගොදුරු සොයන අවිච්චියෙකු ගෙවත්තේත් සිටී දැයි විමසිලිමත් වන්න.

ජයාරූපය : එවර්ට්ස් රැන්ලේ
- බොර සබරිත්තා (Brown Shrike)
කෘමීන් මෙන්ම කුඩා කටුස්සන් වැන්නන් ද ආහාරයට ගන්නා බොර සබරිත්තා, වැටක කටු කම්බියක වැනි උලක තම ගොදුර අමුණා සෙමින් ආහාරයට ගන්නා විශේෂ ආහාර ගැනීමේ හැසිරීමක් ද පෙන්වයි.
දුඹුරු මැසිමාරා (Brown Flycatcher)
කුඩා කුරුල්ලකු වූ දුඹුරු මැසිමාරා ද සමහර ගෙවතු වල දැකගත හැකි කුඩා කුරුල්ලෙකි. වර්ණවත් කුරුල්ලෙකු නොවුනත් ප්‍රිය උපදවන කුරුල්ලෙකි.

ජයාරූපය : එවර්ට්ස් රැන්ලේ