තර්ජනයට ලක් වී ඇති ශ්‍රී ලංකාවේ උරගයෝ…
Published on Vidusara science weekly on 30.10.2019
සැම වසරක ම ඔක්‌තෝබර් 21 වැනි දා ලෝක උරගයන්ගේ දිනය ලෙස සමරනු ලබයි. උරගයන් ගෙන් පරිසර පද්ධතියට සිදු වන සේවාවත්, ඔවුන් මුහුණපාන තර්ජනයනුත්, උරගයන් සංරක්ෂණයේ වැදගත්කමත් ඉස්‌මතු කිරීම මේ දිනයේ අරමුණයි. අනෙකුත් වන ජීවීන්ට සාපේක්ෂ ව, ශ්‍රී ලංකාවේ උරගයන් පිළිබඳ ව ඇති උනන්දුව පොදුවේ අඩු වන නිසා උරගයන් පිළිබඳව දැනුවත් කිරීමට මෙවැනි දිනයක් යොදාගැනීම වැදගත් වේ.
සර්පයන්, කටුස්‌සන්, කිඹුලන්, හූනන්, කැස්‌බෑවන්, ඉබ්බන් ශ්‍රී ලංකාවේ උරගයන් කාණ්‌ඩයට අයත් නියෝජිතයෝ වෙති. ජාතික රතු දත්ත පොත 2012 අනුව ශ්‍රී ලංකාවේ උරග රටාසමයන් (විශේෂ-species) 211ක් සිටි අතර එයින් 125ක් ම ලංකාවට ආවේණික නිසා ශ්‍රී ලංකාවේ උරගයන් ගෙන් සියයට 59ක් ම වෙනත් කිසි ම රටක දැකගත නො හැකි ජීවීහු වෙති. මේ අතරින් බොහොමයක් උරගයන් තර්ජනයට ලක් වී ඇති අතර, වනාන්තර විනාශය වැනි හේතු නිසා වාසස්‌ථාන අහිමි වීම ඔවුනට ඇති මූලික ම තර්ජනය වේ. මීට අමතර ව ලැව් ගිනි, කෘෂි රසායන, වාහනවලට යට වීම් මෙන් ම තෝරාගැනීමකින් තොර ව සිදු කෙරෙන සර්පයන් මරා දැමීම වැනි කරුණු ද උරගයන්ට ශ්‍රී ලංකාවේ දී ඇති තර්ජන වේ.
ශ්‍රී ලංකාවේ කලාතුරකින් සිදු වුවත්, සුරතල් සතුන් ලෙස උරගයන් ඇති කිරීම ලෝකයේ සමහර රටවල ජනප්‍රිය විනෝදාංශයකි. මේ සඳහා විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ අං කටුස්‌සන්, ගැටහොඹු කටුස්‌සන් වැනි උරගයන් අල්ලා හොර රහසේ නීති විරෝධී ලෙස රට යෑවීම ද උරගයන්ට ඇති අලුත් තර්ජනයකි. පසුගිය දා පැවැත්වුණු තර්ජනයට ලක් වූ වන සතුන් සහ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (CITES)හි 18 වැනි සමුළුවේ දී ශ්‍රී ලංකාවේ කටුස්‌සන් 10 දෙනකු අන්තර්ජාතික වෙළෙඳාම තහනම් කිරීමට යෝජනා වූයේ මේ තර්ජනය අවම කරගැනීමේ අරමුණෙන් ම ය. මේ යෝජනා සමහරක් සංශෝධන සහිත ව සම්මත වූ අතර, අනෙක්‌වා එලෙස ම සම්මත වූයේ ය. අපගේ ගෙවතු ආශ්‍රිත ව පවා දැකගත හැකි කටුස්‌සන් පිළිබඳ වත් යෝජනාවක් ද මේ අතර තිබුණත්, යම් තාක්ෂණික දොaෂ නිසා එය ඉවත දැමිණි.
උරගයන් අතර වඩාත් ම කතාබහට ලක් වනුයේ සර්පයන් ය. ජාතික රතු දත්ත පොත 2012 අනුව ශ්‍රී ලංකාවේ සර්පයන් 103ක් වාර්තා වුණු අතර එයින් 49ක් ම ලංකාවට ආවේණික වේ. ලංකාවේ සර්පයන් අතරින් මාරාන්තික විය හැකි විෂ සහිත සර්පයන් සිටින්නේ අතළොස්‌සක් නමුත්, හඳුනාගැනීමේ අපහසුව නිසා බොහොමයක් සර්පයෝ මිනිසුන් විසින් මරා දැමෙති.
තමන් අවට මිනිස් වාසස්‌ථාන අසල දී හමු වන සර්පයන් බොහෝ විට මරා දැමීමට මිනිසුන් පෙලඹෙනුයේ සර්පයන් හඳුනාගැනීමට ඇති අපහසුතාව නිසා ය. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඕනෑ ම අයෙකුට තමන්ට මුණගැසෙන සර්පයන් ඉක්‌මනින් හඳුනාගැනීමට ඉඩ සැලසීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් ඉදිරිපත් වී ඇත. සර්පයන් හඳුනාගැනීමේ සේවාව ලෙස නම් කර තිබෙන මේ වෙබ් අඩවිය, පේරාදෙණිය සරසවියේ මහාචාර්ය කලන මාදුවගේගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ. විෂ සහිත සර්ප දෂ්ඨනයන් හැඳිනගෙන මිනිස් ජීවිත රැකගැනීමට මෙන් ම විෂ රහිත සර්පයන් ආරක්ෂා කරගැනීමට ද සාධනීය ලෙස උපකාරී විය හැකි ක්‍රියාදාමයක් නිසා, මේ වසරේ ලෝක උරගයන් සුරැකීමේ දිනය පාදක කරගත් ලිපිය මේ සර්ප – මිනිස් ගැටුම පිළිබඳ ව මහාචාර්ය කලන මාදුවගේ සමඟ සිදු කළ සාකච්ජාවක් ඇසුරෙන් සැකසේ.
![]() Vidusara cover story on 30.10.2019
මිනිස් – සර්ප ගැටුම
සර්පයන් යනු පරිසරයේ ඉතා වැදගත් අත්‍යවශ්‍ය ජීවීන් කොටසක් වන අතර ඔවුන් ගෙන් පරිසරයේ සමතුලිතතාව රැකගැනීම සඳහා වැදගත් මෙහෙයක් ඉටු වේ. සර්පයන් බොහෝ ආහාර දාමවල ඉහළ පුරුක් වන අතර සමහර විලොපීන්ගේ ආහාර ලෙස ද සර්පයන් පරිසරයට වැදගත් වේ. සර්පයන් මඟින් පරිසරයේ මීයන්, ගෙම්බන්, හූනන්, කුරුල්ලන්ගේ ගහන පාලනය කෙරේ. මීයන්ගේ අධික ගහන නිසා අස්‌වනුවලට වන හානිය සර්පයන් නිසා පාලනය වේ. තව ද ප්‍රතිවිෂ එන්නත් නිෂ්පාදන සඳහා සර්ප විෂ අත්‍යවශ්‍ය වේ. මීට අමතර ව, සර්ප විෂෙහි අඩංගු සංඝටක මඟින් නව ඖෂධ සොයාගැනීම් කළ හැකි ය.
දැනට ලංකාවේ හඳුනාගෙන ඇති සර්ප විශේෂ අතරින් උග්‍ර විෂ සර්පයන් ගණයට අයත් වන්නේ විශේෂ සුළු ප්‍රමාණයකි. ලංකාව අවට මුහුදේ වෙසෙන විශේෂ 15කට ආසන්න මුහුදු සර්පයන් සියල්ල උග්‍ර විෂ වන අතර මුහුදු සර්පයන් ගෙන් වන දෂ්ඨ කිරීම් සහ මරණ ඉතා අඩු සංඛ්‍යාවක් වේ.
ගොඩබිම වෙසෙන සර්පයන් අතරින් උග්‍ර විෂ කාණ්‌ඩයෙහි ලා සැලකෙන්නේ තෙල් කරවලා / මඟමරුවා (Indian / common krait, Bungaruscaeruleus), මුදු කරවලා / දුනු කරවලා (Ceylonkriat” Bungarus ceylonicus), තිත් පොළඟා (Russell’s viper” Daboia russelii), වැලි පොළඟා (Saw scaled viper” Echis carinatus), නයා / නාගයා (Common cobra” Naja naja), කුණකටුවා / පොළොන් තෙළිස්‌සා (humpnosed pit vipers” Hypnale sp.) යන සර්පයන් පමණි. පළා පොළො`ගුන් මඳ විෂ සර්පයන් වන අතර අනෙකුත් සර්පයන් ඉතා සුළු විෂ හෝ විෂ රහිත සර්පයන් ය.
උග්‍ර විෂ සර්පයන්ගේ හිස දෙපස පිහිටි විෂ ග්‍රන්ථි (venom glands) මඟින් විෂ නිෂ්පාදනය වේ. සර්ප දෂ්ඨනයක දී මේ විෂ, විෂ දළ (fangs) හරහා දෂ්ඨ කිරීමට ලක් වන පුද්ගලයාගේ ශරීරයට එන්නත් කිරීම සිදු වේ. සර්ප විෂ (snakevenom) තුළ සරල සහ සංකීර්ණ විෂ රසායන සංයෝග (toxins) රාශිය අඩංගු වේ. ඉන් සමහරක් මිනිසාගේ ශරීරයේ ප්‍රතිග්‍රාහක (receptors) ක්‍රියාකාරීත්වය අඩපණ කරන අතර විෂෙහි අඩංගු එන්සයිම අණු, ශරීරයේ රසායනික ප්‍රතික්‍රියා නතර කිරීමට හෝ අධි ක්‍රියාකාරීත්වයට හෝ පත් කරයි.
සර්ප දෂ්ඨන
සර්ප විෂ මිනිසාගේ රුධිර කැටිගැසීමේ පද්ධතිය (coagulation system), රුධිරවාහිනී, ස්‌නායු උපාගම සන්ධි (synapse), මාංශ පේශි පද්ධතිය, වකුගඩු ක්‍රියාකාරීත්වයට හානි පමුණුවයි. සර්ප දෂ්ඨනයක දී එන්නත් කරනු ලැබූ විෂ, දෂ්ඨ කළ ස්‌ථානයේ සිට වසා (lymphatics) පද්ධතිය හරහා රුධිර සංසරණ පද්ධතියට සහ සියලු ම අවයව දෙසට සුළු කාලයක දී ව්‍යාප්ත වීම සිදු වේ. විෂ බලපෑම් කරන අවයව අනුව රෝගියාගේ රෝග ලක්ෂණ පහළ වීම සිදු වේ. මේ අතර අධික රුධිර වහනය, මුත්‍ර සමඟ රුධිරය පිට වීම, ඇස්‌පිල්ලම් කඩා හැළීම, ශ්වසනය අඩපණ වීම, මාංශ පේශිවල අධික වේදනාව, මුත්‍රා පිට නො වීම වැනි මාරාන්තික රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන කොට සැලකේ.
වසරකට ලෝකයේ සර්ප දෂ්ඨන මිලියන 1.8 – 2.7 අතර සංඛ්‍යාවක් සිදු වන අතර එයින් පුද්ගලයන් 81,000 – 138,000කට ජීවිතය අහිමි වේ. ලෝකයේ සර්ප දෂ්ඨන වැඩි ම සංඛාවක් සිදු වන්නේ දකුණු ආසියාවේ වන අතර ශ්‍රී ලංකාව ලෝකයේ සර්ප දෂ්ඨන වැඩියෙන් ම සිදු වන රටක් වශයෙන් සැලකේ. සර්ප දෂ්ඨන වැඩියෙන් ම සිදු වන රටවල් සහ මරණ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානය (World HealthOrganization), සර්ප දෂ්ඨ කිරීම්, නො සලකා හළ, ඝර්ම කලාපීය අනතුරක් (NeglectedTropical Disease) ලෙස නම් කර ඇත.
ශ්‍රී ලංකාව තුළ වසරකට සර්ප දෂ්ඨන 80,000ක් පමණ සිදු වන අතර ඉන් සියයට 50ක් පමණ රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරේ. ඒ අතරින් වසරකට 400ක් පමණ පිරිසකට ජීවිතය අහිමි වේ.
ඝර්ම කලාපීය කෘෂිකාර්මික රට වීම නිසා ලංකාව උග්‍ර විෂ සර්පයන්ගේ ව්‍යාප්තියට ඉතා සුදුසු දේශගුණයක් සපයයි. විශේෂයෙන් ම ලංකාවේ වියළි කලාපය තුළ උග්‍ර විෂ සර්පයන්ගේ ගහනය ඉතා අධික ය.
සර්ප දෂ්ඨ කිරීමක් යනු රෝගියාගේ ජීවිතයට හානි විය හැකි ඉතා ඉක්‌මනින් ප්‍රතිකාර කළ යුතු බරපතළ රෝගී තත්ත්වයකි (medical emer-gency). විෂ ශරීරගත වීම ඉක්‌මන් වීම මඟින් කෙටි කාලයක් තුළ රෝග ලක්ෂණ පහළ වීම සිදු වේ. එනිසා සර්ප දෂ්ඨනයක දී හැකි ඉක්‌මනින් රෝගියා රෝහලට රැගෙන ඒම අතිශයින් වැදගත් වේ.
සර්ප ප්‍රතිවිෂ එන්නත
සර්ප ප්‍රතිවිෂ එන්නත (snake antivenom), සර්ප දෂ්ඨනයක දී දෙනු ලබන ප්‍රධානතම ප්‍රතිකාරයයි. ලංකාවේ භාවිත වන සර්ප ප්‍රතිවිෂ එන්නත ලංකාවේ සිටින උග්‍ර විෂ සර්පයන් හතර දෙනෙකුගේ විෂට එරෙහි ව නිපදවා ඇත. මේ එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන අතර ඒ සඳහා ඉන්දියාවේ ව්‍යාප්ත ව ඇති සර්පයන්ගේ විෂ යොදාගැනේ. මේ එන්නත ලංකාවේ තෙල් කරවලා, තිත් පොළඟා, වැලි පොළඟා සහ නාගයාගේ දෂ්ඨ කිරීම් සඳහා එන්නත් කෙරේ.
සියලු සර්ප විශේෂ උග්‍ර විෂ නො වන අතර උග්‍ර විෂ සර්පයන් දෂ්ඨ කළ සියලු රෝගීන්ට විෂ ශරීරගත වීම සිදු නො වේ. එනිසා සර්ප දෂ්ඨ කිරීමට ලක් වූ සියලු රෝගීන්ට ප්‍රතිවිෂ එන්නත ලබා නො දේ. සර්ප විෂ නිසා රෝගියාගේ හටගන්නා රෝග ලක්ෂණ සහ පර්යේෂණාගාර රුධිර පරීක්ෂා (investigations) ප්‍රතිඵල අනුව වෛද්‍යවරු ප්‍රතිවිෂ ලබා දීම නිර්ණය කරති. රෝග ලක්ෂණ පහළ වූ රෝගියකුට ප්‍රතිවිෂ ලබා දීම ප්‍රමාද කිරීම මඟින් රෝගියාගේ අවයව ගණනාවකට දැඩි හානි සිදු වන අතර ප්‍රමාද වී ලබා දෙන ප්‍රතිවිෂවල ප්‍රතිඵල රහිත විය හැකි ය. එනිසා ඉක්‌මනින් රෝග ලක්ෂණ හඳුනාගැනීම සහ ප්‍රතිවිෂ එන්නත් කිරීම ඉතා වැදගත් වේ.
දැනට ලංකාවේ භාවිත වන ප්‍රතිවිෂ එන්නත ඉන්දියාවේ නිපදවන බැවින් එය භාවිත කළ හැකි වන්නේ ලංකාවට සහ ඉන්දියාවට පොදු ව්‍යාප්තියක් ඇති සර්පයන් හතර දෙනාට පමණි. එබැවින් ලංකාවේ ව්‍යාප්තියක් ඇති අනෙකුත් විෂ සහිත සර්ප දෂ්ඨන සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් මෙරට නැත. විශේෂයෙන් ම ලංකාවේ වැඩි ම සර්ප දෂ්ඨන සිදු වන උග්‍ර විෂ කුණකටුවන්ගේ විෂට කිසිදු ප්‍රතිවිෂ එන්නතක් නොමැත. මෙනිසා වසරකට සැලකිය යුතු රෝගීහු සංඛ්‍යාවක් කුණකටුවන්ගේ විෂ නිසා වකුගඩු ආබාධ සහ රුධිර කැටිගැසීම් පද්ධතියේ බලපෑම් නිසා මරණයට පත් වෙති.
සර්ප ප්‍රතිවිෂ නිෂ්පාදනය සඳහා උග්‍ර විෂ සහිත සර්පයන් ගෙන් ලබාගන්නා විෂ යොදාගැනේ. මේ විෂ කුඩා මාත්‍රා ලෙස අශ්වයන්ට එන්නත් කිරීම සිදු වේ. මෙමඟින් අශ්වයන්ගේ රුධිරය තුළ එන්නත කළ විෂට එරෙහි ව ක්‍රියාත්මක වන ප්‍රතිදේහ (antibodies) සංඝටක නිපදවේ. ප්‍රතිවිෂ එන්නත් නිෂ්පාදනයේ දී මේ ප්‍රතිදේහ සංඝටක අශ්ව රුධිරයෙන් වෙන් කරගෙන ප්‍රතිවිෂ එන්නත් ලෙසට රෝහල්වල භාවිත කෙරේ.
සර්ප ප්‍රතිවිෂ එන්නත්වල අශ්ව ප්‍රොaටීන අඩංගු බැවින් සහ නිෂ්පාදනයේ දී සිදු වන සමහර අඩුපාඩු නිසා ප්‍රතිවිෂ එන්නත් කිරීමෙන් රෝගීන්ට අසාත්මිකතා ( allergies) ඇති විය හැකි ය. ඖෂධ නිසා සිදු වන අසාත්මිකතා අතර ප්‍රතිවිෂ එන්නත් මඟින් සිදු වන අසාත්මිකතා සංඛ්‍යාව ඉතා අධික වේ. ඉන් සමහරක් අසාත්මිකතාවන් ඉතා බරපතළ (anaphylaxis) වන අතර එමඟින් ජීවිතයට හානි විය හැකි ය. එනිසා සර්ප ප්‍රතිවිෂ එන්නත් එන්නත් කළ යුතු වන්නේ එය අවශ්‍ය ම රෝගීන්ට පමණි.
දැනට ලංකාවේ භාවිත වන ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත නිසා ඉතා විශාල සංඛ්‍යාවකට මේ අසාත්මිකතාවන් හටගනී. මෙයින් සමහරක් අසාත්මිකතාවන් ශරීරයට දැඩි හානි පමුණුවන බරපතළ අසාත්මිකතාවන් වේ. තව ද ලංකාවේ කුණකටුවන්ගේ සහ මුදු කරවලාගේ දෂ්ඨ කිරීම් සඳහා මේ එන්නත ලබා දිය නො හැකි ය. මෙනිසා අසාත්මිකතාවන් ඉතා අඩු, ලංකාවේ සර්ප විෂ නිවැරැදි ව ම නිෂේදනය කළ හැකි (ලංකාවේ සර්ප විෂ යොදා නිෂ්පාදනය කළ), කුණකටුවන්ගේ විෂ නිෂේධනය කළ හැකි එන්නතක අවශ්‍යතාව ඉතා වැදගත් වේ. එසේ නො වේ නම් ප්‍රතිවිෂ එන්නත් නිසා හටගන්නා අසාත්මිකතාවන් නිසා ජීවිත හානි විය හැකි ය. කුණකටුවන්ගේ විෂ සඳහා එන්නතක් තිබීම මඟින් කුණකටුවන්ගේ දෂ්ඨ කිරීම් නිසා සිදු වන සියලු මරණ වළක්‌වාගත හැකි ය.
කෘෂිකාර්මික රටක් වීම, උග්‍ර විෂ සර්පයන්ගේ අධික ඝනත්වය, සර්පයන් සමග නිතර ගැටීම සහ ප්‍රතිකාර ක්‍රමවල අඩුපාඩු නිසා ලංකාවේ සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වළක්‌වාගැනීම අසීරු කටයුත්තක් වී ඇත.
ප්‍රතිවිෂෙහි ගුණාත්මක බව සහ රෝහලේ දී ලැබෙන ප්‍රතිකාරවලට අමතර ව රෝගීන්ගේ දායකත්වය මේ මරණ අඩු කිරීම සඳහා අතිශයින් වැදගත් වේ. දෂ්ඨ කළ සර්පයා රෝහලට රැගෙන ඒම අවශ්‍ය නො වන අතර එමඟින් ලැබෙන ප්‍රතිකාරවල කිසිදු ප්‍රමාදයක් සිදු නො වේ. රෝගියාගේ රෝග ලක්ෂණ මඟින් දෂ්ඨ කළ සර්පයා නිර්ණය කිරීම වෛද්‍යවරුන්ට හැකියාව ඇත.
සර්පයන් හඳුනාගැනීම සඳහා නව වෙබ් අඩවියක්
දුටු තැන සර්පයන් මරා දැමීම ලංකාවේ බොහෝ දෙනකුගේ පුරුද්දක් වී ඇත. බොහෝ විෂ රහිත සර්පයන්, උග්‍ර විෂ සර්පයන් සේ සලකා බියට පත් ව මරා දැමීම සිදු වේ. මූලික ගණනයන්ට අනුව දිනකට ලංකාවේ 10,000කට අධික සර්පයන් සංඛ්‍යාවක් මරා දැමෙන බව අනුමාන කළ හැකි ය. විෂ සර්පයන් වෙන් කර හඳුනාගැනීමේ ඇති නො හැකියාව මෙයට ප්‍රධාන ව ම හේතු වී ඇත. සමහර විෂ රහිත සර්පයන් ලංකාවට ආවේණික දුර්ලභ සර්පයන් වන අතර මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මේ දුර්ලභ විශේෂ වඳ වීමේ තර්ජනයට ලක් ව ඇත.
සර්පයන් හඳුනාගැනීමේ ඇති නො හැකියාව මඟහැරවීම සඳහා නව වෙබ් අඩවියක් http://www.snakesidentification.org පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් හඳුන්වා දී ඇත. මෙමඟින් ඕනෑ ම කෙනකුට තමන් දුටු සර්පයාගේ ඡායාරූපයක් සහ අදාළ තොරතුරු කීපය වෙබ් අඩවිය හරහා යොමු කළ හැකි ය. සර්පයාගේ හඳුනාගැනීම සහ විෂෙහි ප්‍රබලතාව පිළිබඳ තොරතුරු කෙටි කාලයකින් නැවත අදාළ පුද්ගලයාට දැනුම් දීම මේ වෙබ් අඩවිය හරහා සිදු වේ. මීට අමතර ව ලංකාවේ සර්පයන් හඳුනාගැනීම ගැන සියලු දැනුම මේ වෙබ් අඩවිය තුළ ඇතුළත් වේ.
සර්පයන් සමඟ ගැටෙන විශාල සංඛ්‍යාවක් මේ වෙබ් අඩවිය හරහා දිනපතා තමාට හමු වන සර්පයන් නිවැරැදි ව හඳුනාගැනීම සිදු කෙරේ. මේ අතර, රෝහල්වල වෛද්‍යවරුන්, අනෙකුත් සේවකයන්, පරිසර හිතකාමීන් විශේෂ වේ.
ලංකාවේ සර්පයන් හඳුනාගැනීම, සර්ප විෂ, රෝග ලක්ෂණ හටගැනීම, ප්‍රථමාධාර ක්‍රම, ප්‍රතිකර්ම ක්‍රම, සර්ප දෂ්ඨන වැළැක්‌වීම සහ සර්පයන් සංරක්ෂණය ගැන නිවැරැදි දැනුම බොහෝ ශ්‍රී ලාංකිකයන් හට අඩුපාඩුවක් ව පවතී. මේ දැනුම සහිත පොතපත ඉතා අල්ප ය. නවතම දැනුම තවමත් පොත්වලට ලියවී නැත. බොහෝ කරුණු දැනට පවතින්නේ පර්යේෂණ පත්‍රිකා ලෙස වීම මේ සඳහා හේතු වී ඇත. මේ අඩුපාඩුව මඟහැරවීම සඳහා නවතම දේශන මාලාවක් නිෂ්පාදනය කර ඇත. මේ දේශන මාලාව යූටියුබ් (Youtube) හරහා Snakebites (The whole story ලෙසට ටයිප් කිරීමෙන් නැරඹිය හැකි ය. රූප සහිත දේශන නවයකින් සමන්විත මේ වැඩසටහන මඟින් ලංකාවේ සර්පයන් හඳුනාගැනීම, සර්ප විෂ ආශ්‍රිත රෝග ලක්ෂණ, සර්ප ප්‍රතිවිෂ, ප්‍රථමාධාර, සර්ප දෂ්ඨන වැළැක්‌වීම සහ ලංකාවේ සර්පයන් සංරක්ෂණය ගැන නවතම තොරතුරු ලබාගත හැකි ය. ඉහත සර්පයන් හඳුනාගැනීමේ වෙබ් අඩවිය සහ දේශන මාලාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ, වෛද්‍ය පීඨයේ මහාචාර්ය කලන මාදුවගේ මහතා විසින් හඳුන්වා දී පවත්වාගෙන යනු ලබන අතර වෛද්‍ය භාග්‍යා නිකපිටිය, සජිත් තිලකරත්න, ආසිරි සෙනවිරත්න සහ වෛද්‍ය ශිෂ්‍ය පරාක්‍රම කරුණාතිලක මේ සඳහා සක්‍රිය සහයෝගය ලබා දී ඇත.
වසරකට ලංකාවේ 400කට අධික පිරිසක් සර්ප දෂ්ඨ කිරීම් නිසා මිය යන නමුත් මේ සියල්ල වළක්‌වාගත හැකි අනතුරු වේ. මේ සඳහා වෛද්‍යවරුන්, පර්යේෂකයන්, සෞඛ්‍ය බලධාරීන් මෙන් ම රටේ සියලු පුරවැසියන් තම යුතුකම් නිසි ලෙස ඉටු කළ යුතු වේ. මේ සඳහා ඉහත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය දැනුම සහ වුවමනාව තිබිය යුතු ය. ලංකාවේ සර්ප දෂ්ඨන ගැන දැනුම, අවබෝධය සහ නිවැරැදි ආකල්ප වර්ධනය මෙහි පළමු පියවර වේ. මේ ලිපියේ ඇතුළත් මූලික දැනුම සහ සර්පයන් හඳුනාගැනීමේ වෙබ් අඩවිය (www.snakesidentification.org) සහ (Snake-bites ( The whole story) දේශන මාලාව මේ සඳහා තැබූ වැදගත් පියවරක් වේ. සර්ප දෂ්ඨන ගැන දැනුම සහ ආකල්ප වර්ධනය මිනිස් – සර්ප ගැටුමේ අවසානය ඉක්‌මන් වන අතිශයින් වැදගත් තීරණාත්මක පියවරක් වනු ඇත.
සර්ප දෂ්ඨනයක දී දිය යුතු ප්‍රථමාධාර
1. මූලික ජීවිතාරක්ෂක ප්‍රථමාධාරය කෘත්‍රිම ශ්වසනය ලබා දීම හෝ අර්ධ සම්බාහනය විය හැකි ය.
2. රෝගියාගේ බිය නැති කිරීම (මෙමඟින් රුධිර සංසරණ පද්ධතියේ වේගය සහ පීඩනය අඩු වී විෂ ශරීරගත වීම ප්‍රමාද වේ).
3. රෝගියා ශාරීරික වශයෙන් විවේකී ව තැබීම.
4. දෂ්ඨ කළ ස්‌ථානය සබන් යොදා හෝ නො යොදා ගලා යන ජලයෙන් සේදීම සහ පිටතින් සැරහුමක් යෙදීම.
5. දෂ්ඨ කිරීමට ලක් වූ බාහුව හැකි තරම් නො සොල්වා තැබීම.
6. වේදනාව සඳහා අවශ්‍ය නම් පැරසිටමෝල් ලබා දීම.
7. පැළඳ සිටින වළලු, මුදු සහ ඔරලෝසු ආදිය ඉවත් කිරීම.
8. හැකි ඉක්‌මනින් රෝගියා විඩාවට පත් නො කර ළඟ ම ඇති රෝහලට රැගෙන ඒම.
සර්ප දෂ්ඨනයක දී කළ යුතු දේ
සමහර රෝගීහු සර්ප දෂ්ඨ කිරීම බරපතළ නො වන සේ සලකා ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කරති. තවත් සමහර රෝගීහු අනුමත කළ නො හැකි, රෝග ලක්ෂණ සහ විෂ ශරීරගත වීම ඉක්‌මන් කෙරන ප්‍රථමාධාර ක්‍රම සඳහා යොමු වෙති. මෙනිසා සර්ප දෂ්ඨ කිරීමක දී කළ යුතු සහ නො කළ යුතු ප්‍රථමාධාර ක්‍රම ගැන සියලු ශ්‍රී ලාංකිකයන් දැන සිටීම වැදගත් වේ. එයට හේතුව ශ්‍රී ලාංකික සියලු දෙනාට ම කෙදිනක හෝ සර්ප දෂ්ඨනයක් සිදු වීමේ විශාල සම්භාවිතාවක් පැවතීමයි. විශේෂයන් ම වියළි කලාපයේ ජීවත් වන, කෘෂිකාර්මික ජනතාව තුළ විෂ සහිත සර්පයන් හඳුනාගැනීම, ප්‍රතිකාර ක්‍රම සහ නිවැරැදි ප්‍රතිකාර ක්‍රම ගැන හොඳ දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. මේ ජීවිතාරක්ෂක දැනුම කෙනකුගේ ජීවිතය බේරා ගැනීමට කෙදිනක හෝ උපකාර වේ. එනිසා මේ දැනුම පාසල් පෙළපොත විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීම කාලෝචිත වේ.
සර්ප දෂ්ඨනයක දී නො කළ යුතු දේ ගැන වැඩි සැලකිල්ලක් දැක්‌විය යුතු ය. මන්ද, වැරැදි ප්‍රථමාධාර නිසා විෂ ශරීරගත වීම ඉක්‌මන් වී රෝගියා මිය යා හැකි බැවිනි.
සර්ප දෂ්ඨනයක දී නො කළ යුතු දේ
1. රෝගියා බියට පත් කිරීම සහ කලබලයට පත් කිරීම.
2. රෝගියා ඇවිදවීම සහ වෙහෙසට පත් කිරීම.
3. දෂ්ඨ කළ ස්‌ථානයට ඉහළින් තදින් වෙළුම් පටියකින් ගැටගැසීම.
4. දෂ්ඨ කළ ස්‌ථානය කැපීම, විෂ ඉරීම සහ අනෙකුත් ඖෂධ ගැල්වීම.
5. වෛද්‍ය උපදෙස් නොමැති ව වෙනත් ඖෂධ ලබා දීම.
6. මත්පැන් පානය කරවීම.
7. තැඹිලි වතුර සහ වෙනත් පලතුරු යුෂ පානය කරවීම.
8. දෂ්ඨ කළ ස්‌ථානයේ කොන්ඩිස් ගැල්වීම.
9. ශ්වසන පද්ධතියට විවිධ ඖෂධ දමා නස්‌න කිරීම.
නිවැරැදි ප්‍රථමාධාර දීමේ අරමුණ වන්නේ ප්‍රථමාධාර මඟින් කිසිදු හානියක් සිදු නො කිරීම, විෂ ශරීරගත වීම ප්‍රමාද කිරීම, රෝග ලක්ෂණ හටගැනීම ප්‍රමාද කිරීම සහ රෝහලකට රැගෙන යන තෙක් රෝගියාගේ ජීවිතය රැකගැනීමයි. ඒ නිසා අවබෝධයෙන් තොර ව ප්‍රථමාධාර ලබා නො දීම සර්ප දෂ්ඨනයක දී ඉතා වැදගත් වේ.
මාලක රොඩ්‍රිගෝ
|